අපගේ දැක්ම
"රාජ්‍ය සම්පත් මනා කලමනාකරණය තුළින් කොට්ඨාසයේ ජනතාවට ප්රශස්ත සේවාවක් සැපයිම"අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"විවරණය.
කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වනාහි ...
මාතර දිස්ත්‍රික්කයේ නව ප්‍රාදේශීය පරිපාලන කොට්ඨාසයක් වූ කිරින්ද ඵෙතිහාසික උරුමයන් ගෙන් හෙබි නගරයකි. පුරාතන යුගයේ මෙම ප්‍රදේශය කුඩා ගම්මාන හා එතරම් විශාල නොවූ වනාන්තර වලින් වට වූ කදු ගැටවලින් සකස් වූ ප්‍රදේශයක් විය. නයිගල්කන්දේ නැගෙනහිර බෑවුම් පෙදෙස වලකන්ද, වතුකොළකන්ද, හීලකන්ද සහ කෝංගල කන්දේ දකුණු දිග බෑවුම ආවරණය කරමින් මෙම ප්‍රදේශය පිහිටා ඇත.
පුරාතන බෙදීම අනුව, මෙම කොට්ඨාසය ගඟබඩපත්තුව උතුරට අයත් වේ. පරිපාලන කටයුතු පහසු කිරීම සදහා ග්‍රාම නිලධාරි වසම් විසිපහක් ක්‍රියාත්මක වෙයි. එමෙන්ම, සමෘද්ධි කලාප දෙකක් හා උප්පැන්න, විවාහ හා මරණ රෙජිස්ට්‍රාර් කොට්ඨාස දෙකකින්ද පාලන තන්ත්රය ක්‍රියාත්මක වෙයි. පොලිස් බල ප්‍රදේශ තුනකින් ආරක්ෂක කටයුතු ආවරණය වේ. සංවර්ධනයට බදුන් වෙමින් පවතින මෙම ප්‍රදේශයේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සදහා ස්ථාපිත වුවක් ලෙස කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශිය සභාව හැදින්විය හැකිය.
කිරින්දේ ග්‍රාම නාම විමසීමේ දී ගැමියා එය දුටු ආකාරය පිළිබදව විමසා බැලීම වැදගත් වේ. මල්වතුගොඩ, දේවාලමුල්ල, සමණමුල්ල, ගජමන්ගොඩ එවැනි ගම්මාන කිහිපයකි. අතීතයේ ප්‍රාදේශීය රජතුමකුගේ මල්වත්තක් තිබූ ප්‍රදේශය මල්වතුගොඩ වූ බව ජනප්රවාදයේ පවතී. අනුහස් ඇති දේවාල හතරක් තිබීම නිසා දේවාලමුල්ල ග්‍රාම නාමය ඇති වූ බව පැවසේ. භික්ෂුන්වහන්සේලා භාවනානුයෝගීව වැඩ සිටි ප්‍රදේශය සමණමුල්ල වූ බව සැලකේ. කරතොට නාහිමි ගෙන් සාහිත්‍ය හැදෑරිම සදහා ගජමන් නෝනා නැවතී සිටි ප්‍රදේශය ගජමන්ගොඩ වූ බව ජනප්රවාදයේ පවතී. ජල පහරකින් රත්තරන් පුහුලක් හමුවීම නිසා පුහුල්වැල්ල ග්‍රාම නාමය ලැබූ බව විශ්වාසයක් පවතී.
අතීතයේ මෙම ප්‍රදේශය කිරිදි යායක්ව පැවතීම නිසා කිරින්ද නගරය ලෙස වර්තමානයේ ව්‍යවහාර වන බවටද මතයක් පවතී.එමෙන්ම, කිරින්ද ග්‍රාම නාමය සැකසීම පිළිබද තවත් මතයක් පවතී. දෙවන ලෝක සංග්‍රාමය පැවති සමයේ දී ජපන්නු දෙවරක් මෙරටට බෝම්බ හෙළුහ. මේ නිසා ඔත්තු සේවා නිරතුරුව විදේශ ප්‍රහාර පිළිබඳ සැලකිලිමත් වූහ. එක් අවස්ථාවකදී සතුරු හමුදාවන්ගේ ගුවන් විදුලි පණිවුඩයක කිරින්ද යනුවෙන් සටහන් වීමක් පිළිබද දැන ගැනීමට මිත්‍ර හමුදාවන්ට හැකි විය. මිත්‍ර හමුදාවන්ගේ ක්ෂණික අවධානය මේ කෙරෙහි යොමු විය. එම අවස්ථාවේ දී ආණ්ඩුකාරවරයා කිරින්දට කාපිරි හමුදා අනු ඛණ්ඩයක් යැවීය. ඔවුන් මාතර දී කිරින්ද ප්‍රදේශය පිළිබද විමසීමේ දී ගැමියකු විසින් මෙම ප්‍රදේශයට පැමිණීමේ මං සලකුණු කියා ඇතැයි සැලකේ. ඒ අනුව ඔවුන් මෙම ප්‍රදේශයට පැමිණ තිබේ. පසුව මේ පිළිබද විමසීමේ දී සන්නිවේදන ක්‍රමවල ඇති වූ දෝෂයක් නිසා මෙම කොට්ඨාසයට හමුදා අනු කාණ්ඩයක් පැමිණි බව ආණුඩුකාරවරයාට වැටහිණි. තිස්ස කිරින්ද හා මාතර කිරින්ද එකම නමකින් භාවිතාවීම ගැටළුවක් වන නිසා ආණ්ඩුකාරවරයා මාතර කිරින්දට කිරින්ද පුහුල්වැල්ල යන නාමය එක් කළ බව සැලකේ.
මෙසේ ඵෙතිහාසික පසුබිමක් ඇති කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ශ්‍රී ලංකාවේ අඟලේ සිතියමට අනුව උතුර අක්ෂාංශ 6 - 6.04 ද නැගෙනහිර දේශාංශ 80.30 -80.42 අතර පිහිටා ඇත. භූ විෂමතාවය අනුව, මුහුදු මට්ටමේ සිට උස අඩි 200 – 700 ක් අතර කලාපයට අයත් වේ. නයිගල, හෙට්ටියාවල ආදී ප්‍රදේශයක කදු ශිඛර අඩි 700 ක උන්නතාංශයට ආසන්නව පවතී. සාමාන්‍ය උෂ්ණත්වය 300C ක් පමණ වේ. වාර්ෂික වර්ෂාපතනය අගල් 75 ක් පමණ වේ. ආර්ද්‍රතා අගය 75 ක් පමණ වේ.
වර්තමානයේ මෙන්ම පැරණි ග්‍රාමීය ජන කොටස් කෘෂි කාර්මික කටයුතුවල නිරත විය. පැරණි ජීවන ක්‍රමය අනුව, වෘත්තීය කටයුතු කුල පදනමින් පවත්වාගෙන යනු ලැබුණි. කිරින්ද මගින් ඉහළ ග්‍රාම නිලධාරි වසම කුඹල් කාර්මිකයන්ගේ කුඩා ගම්මානයක් විය. කිරින්ද සාරානන්ද මාවතෙන් ආවරණය වන ප්‍රදේශය සහ වවුලන්බොක්ක රන් රිදී කාර්මිකයන්ගේ නිජ බිමක් බවට පත් වී තිබුණි. අතීතයේ දී මෙම ප්‍රදේශයේ ජනතාව චාම් සරල දිවි පෙවතක් ගත කළහ. කාන්තාවන්ගේ ඇදුම කම්බාය හා හැට්ටය වූ අතර, පිරිමින්ගේ උඩු කය නිරාවරණය වන පරිදි රෙද්දකින් සැරසී සිටින ලදී. එමෙන්ම කරට ලේන්සුවක් දමා තිබීම විශේෂත්වයක් විය.
වී වගාවට අමතරව ආර්ථික වශයෙන් වැදගත් බෝග මෙම ප්‍රදේශයේ ව්‍යාප්තව ඇත. අධිරාජ්‍යවාදී යුගයේ දී මුහුදු බඩ ප්‍රදේශ සංස්කෘතික ගහණයට දැඩි ලෙස ලක් විය. එහෙත් මෙම ප්‍රදේශය එම බලපෑමට ගොදුරු වූයේ අඩු වශයෙනි. එහෙත් ආර්ථික කටයුතු වලට ඔවුන්ගේ බලපෑම ඇති විය. එහි ප්‍රතිඵලය වශයෙන් පොල්, කුරුදු, රබර් වගාව මෙම ප්‍රදේශයේ ප්‍රචලිත විය. එමෙන්ම ගොරක, පුවක්, කොස්, දෙල් ගෘහ ආශ්‍රිතව වගා කෙරේ. මෙම වගාවන් සඳහා ප්‍රදේශයේ පවතින දේශගුණික තත්ත්වයන් ද ජල වහනය ද වැදගත් වේ. කොට්ඨාසයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේ දොළ පහරවල් කිහිපයක් හා ඒ හා බැදුණු ඇළ මාර්ගයන්ය. තඹගල් ආර දොළ, හාවා පැන්න දොළ, මුළන දොළ, ගෝන දොළ, මහ ඇළ ඒ අතර වේ.
ප්‍රදේශයේ ජනගහනය පිළිබද විමසීමේ දී සිංහල, මුස්ලිම් ජන කොටස් අන්‍යෙන්‍ය සහයෝගයෙන් ජීවත් වීම විශේෂත්වයකි. අතීතයේ යෝනක ජනයා සංචාරක වෙළදුන් ලෙස මෙම ප්‍රදේශයට පැමිණ ඇත. එසේ පැමිණි ඇතැම් වෙළෙන්දෝ සිංහල කාන්තාවන් විවාහ කර ගත්හ. මෙසේ ඇති වූ, සංස්කෘතික සම් මිශ්‍රණය හේතු කරගෙන පසු කාලයේ දී ඔවුන් කිරින්ද ප්‍රදේශයේ ස්ථාපිත වූහ. මෙම ප්‍රදේශයේ සමස්ථ ජනගහනය 2010 වර්ෂයේ දී 22036 ක් වන අතර එය ස්ත්‍රී 11146 ලෙස ද, පිරිමින් 10890 ක් ලෙස ද වර්ගීකරණයට ලක් කළ හැකිය. ජාතීන් අනුව ජන ව්‍යාප්තිය විමසීමේ දී සිංහල 21268 ක් ලෙස ද, ලංකා යෝනක 768 ලෙස ද ක්‍රියාත්මකව පවතී.
සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| වී.ජී.ඊ. කරුණාරත්න මහතා | 1999.06.05 | 2003.06.12 |
| ජී.සී.ඊ. විදානගමාච්චි මහත්මිය | 2003.06.13 | 2005.11.30 |
| මහේෂ් අබේසේකර මහතා | 2005.12.01 | 2008.09.11 |
| චින්තක අබේවික්‍රම මහතා | 2008.09.12 | 2019.09.09 |
| කුසලක නානායක්කාර මහතා | 2019.09.09 | 2021.10.30 |
| ඒ.ජී.ඩබ්.ටී. රාජපක්ෂ මිය | 2021.11.01 | මේ දක්වා |













